කුරුලෑ (Pimples) ?
ජීවිතයේ කුමන අවධියකදී හෝ අපි හැමෝම මුහුණදෙන ගැටලුවක් තමයි පිම්පල්ස් pimples හෙවත් කුරුලෑ. තුරුණුවියට එලඹි ගැහැනු හා පිරිමි දරුවන් දෙපාර්ශවයටම මේ තත්වය ඉතා අසහනකාරී වන්නේ ඔවුන් හතර දෙනෙකු අතරින් තුන්දෙනෙකුට පමණවත් මෙම තත්වය පොදුවන තරමටම සුලභ නිසයි.
සෞඛ්‍යමය වශයෙන් මෙහිදී ඇතිවන බලපෑම අවම වුනත්, සමාජයට මුහුණ දීමට ඇතිවන අකමැත්ත, ආත්ම විශ්වාසය බිදවැටීම, වාගේ බොහෝමයක් මානසික ගැටලු කුරුලෑ නිසා ඇතිවෙනවා. බොහෝමයකගේ කුරුලෑ තත්වය තුරුණුවිය ගෙවීයාමත් සමඟ ක්‍රමයෙන් අඩුවී ගියත්, සමහර පුද්ගලයන්ට පසුකාලීනවද මේ තත්වයට මුහුණදීමට සිදුවෙනවා. එපමණක් නොවෙයි ඔසප්වීම සිදුවීමට පෙරදීත්( pre menstrualy), ගර්භනී සමයේදීත් කාන්තාවන්ගේ කුරුලෑ හටගැනීමේ වැඩිවීමක් පෙන්වනවා..
තරුණ අවධිය ගෙවීයාමත් සමගම කුරුලෑ ඇතිවීමේ අඩුවක් නොමැතිනම්, ඔබත් බොහෝවිට පහත කාණ්ඩයකට අයත්වන්නට පුලුවන්.
අනවශ්‍ය ලෙස කුරුලෑ ඇතිවීමේ පවුලේ ඉතිහාසයක් තිබීම.
වලිප්පුව (fits) සඳහා දිගුකාලීනව ඖෂධ භාවිතයට ගැනීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස.
හෝමෝන අසමතුලිතතාවයන් නිසා ඇතිවන ලෙඩ රෝග.
උදා ලෙස, PCOS (poly cystic overian syndrome – ඩිම්භකෝෂ ආශ්‍රිත අසාමාන්‍යතාවක්)
අධික වෙහෙස හා මානසික පීඩනය.
රැකියාව හෝ වාසස්ථානය අධික දහඩිය දමන හෝ තෙතමනය ඉහළ ස්ථානයක පිහිටා තිබීම.
ගර්භනී සමය හා ඔසප් ඇතිවීමට පෙර කාලසීමාව.
තෙල් බවින් යුක්ත රූපලාවණ්‍ය ද්‍රව්‍ය ආලේපනය, හා ඒවා ඉවත් කිරිමේදී ඇති නොසැලිකිලිමත්කමබව.
මේ කරුණු නිසා දිගින් දිගටම කුරුලෑ ඇතිවීමේ අවධානම වැඩි වන්නේ කුමක් නිසාද කියා දැන් ඔබට සිතෙනවා ඇති. ඒ සඳහා කුරුලෑ යනු කුමක්දැයි පළමුව තේරුම් ගත යුතුය.
සම මතුපිටට දහඩිය ශ්‍රාවය කරන්නේ, සමේ ඇතුලත ස්ථරයක පිහිටා ඇති දහඩිය ශ්‍රාවය කරන ග්‍රන්ථි මගින්. එම ග්‍රන්ථි වල සිට බාහිරය දක්වා ශ්‍රාවයන් පිටකිරීම සඳහා සමෙහි කුඩා විවරයන් පිහිටා තිබෙනවා. ඒවගේම ඔබ දන්නවා ඇති සම ඇතුලත සිට බාහිරය දක්වා තෙල් වැනි ශ්‍රාවයන් ද ශ්‍රාවය කරන ග්‍රන්ථි වර්ගයක් තිබෙන බව. කුරුලෑ ලෙස අප හදුන්වන මේ තත්වය ඇතිවන්නේ තෙල් වැනි ශ්‍රාවය මගින් ඉහත කී විවරයන් අවහිර වීම නිසයි.. තවද දිනපතා සමෙන් ඉවත්වන මැරීගිය සෛල හා සෛල කොටස්ද තෙල් ශ්‍රාවයන් සමඟ මිශ්‍රවී විවර අවහිරවීම වැඩි කරනවා. සම මතුපිටට ශ්‍රාවයවීම අවහිර වී, ඒවා ඇතුලත රැදී තිබී, බැක්ටීරියාවන්ගෙන් ගහණයවී ආසදනයට ලක්වෙනවා.. මෙම ආසාදනයන් සම අභ්‍යන්තරයට ගමන් කලහොත්, ආසාදනය පැතිරී, සැරව ගෙඩි ඇතිවන්නත් පුලුවන්.
කුරුලෑවල ස්වභාවය අනුව මේවා වර්ග කිහිපයක් ලෙස දක්වන්නට පුලුවන්.
පිම්පල්ස් (pimples) හෙවත් සාමන්‍ය ව්‍යවහාරයට අනුව කුරුලෑ : ආසාදිත ශ්‍රාවයන් රැදී අවහිරවූ විවරයන්.
බ්ලැක් හෙඩ්ස් (black heads) : විවරයන් සම්පූර්ණයෙන් අවහිරවී නැතත්, මැරුණු සෛල එකතුවී තිබීම නිසා ඇතිවේ.
වයිට් හෙඩ්ස් (white heads) : විවරයන් අවහිර වන පරිදි මැරුණු සෛල එක් රැස්වී තිබීමෙන් ඇතිවේ.
සරව ගෙඩි (cyst) : ආසාදනය අභ්‍යන්තරය දක්ව පැතිරී ගොස් සම ඇතුලත ආසාදිත ප්‍රදේශ ඇතිවී සැරව එකතූවීම නිසා ඇතිවේ.
තුරුණු අවදියේදී, ශරීරයේ හෝමෝනවල ක්‍රියාකාරිත්වයද ඉහළ යයි. ඒවා මගින් පාලන වන්නාවූ ශ්‍රාවයන් වලද වැඩිවීමක් මේ කාලයේදී ඇතිවේ, මේනිසා කුරුලෑ හට ගැනීමට ඇති අවස්ථාවන්ද වැඩිවීමක් පෙන්වයි. මේ හා සමාන හෝමෝන ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් ඇතිවන ගර්භනී සමය, ඔසප්වීමට පෙර කාලසීමාව, අධික මානසික පීඩනයක් සහිත අවස්ථාවලද කුරුලෑ වැඩිවන්නේ මේ නිසයි. රූපලාවණ්‍ය ද්‍රව්‍ය භාවිතය හා ඉවත් කිරීමෙදී නොසැලකිලිමත් වීම නිසා සම මතුපිටට විවරයන් නිරන්තරයෙන්ම වැසීයාමට අවස්ථාවක් උදාවන බව දැන් ඔබට වැටහෙනු ඇත.
කුරුලෑ ඇතිවීමේ ක්‍රියාවලිය තේරුම්ගත් ඔබට, චොක්ලට්, අධික තෙල් සහිත ආහාර ආදිය නිසා කුරුලෑ හටගැනීම වැඩිවන බවට පවතින අර්ථ විරහිත මතයන් පහසුවෙන් බැහැර කරන්න පුලුවන්.
කුරුලෑ පිලිබඳව කතා කෙරෙන විට ඔබගේ වැඩි අවධානය යොමුවන්නේ, මෙය අවම කරගන්නේ කෙසේද යන්න දිහාවට බව අපි දන්නවා. කුරුලෑ සුව කිරීමට වඩා පහසුවෙන්, ඒවා ඇතිවීම අවම කර ගැනීමට හැකි නිසා, අපි පළමුව ඒ පිලිබඳව සාකච්ඡා කරමු.
මුහුණ හොඳින් සෝදා, පිරිසිදුවට, තෙල් ගතිය අවමවන ලෙස පවත්වා ගැනීම.
තෙල් සහිත රූපලාවණ්‍ය ද්‍රව්‍ය භාවිතය අවම කිරීම, මොනයම් හෝ ද්‍රව්‍යයක් භාවිතා කල පසු, ඒවා හොඳින් ඉවත් කිරීමට වගබලා ගැනීම, කිසිවිටකත් makeup සමඟම නින්දට යෑම ආදිය නොකල යුතුය.
ඔබගේ හිසකෙස් වල තෙල් ස්වභාවය වැඩිනම්, shampoo භාවිතය මගින් එය අඩු කරගැනීමත්, හිසකෙස් මුහුණට වැටීම අවම කර තබාගැනීමත් වැදගත්වනවා.
වරින් වර මුහුණ අතගා බැලීම හෝ ඇගිලි වලින් ස්පර්ශ කිරීම නොකල යුතුයි.
මුහුණ හා ස්පර්ශ වන, දිනපතා භාවිතාවන කොට්ට උර, තුවා ආදිය නිතර සෝදා පිරිසිදුව තබාගැනීමත් වැදගත්වනවා.
මීට අමතරව, කුරුලෑ සඳහා ඖෂධ ලෙස, වෛද්‍ය උපදෙස් නොමැතිවවූවද, ෆාමසි මගින් ලබාගත හැකි
බෙන්සොයිල් පෙරොක්සයිඩ් (Benzoyl peroxide), හෝ
සැලිසයිලික් අම්ලය (Salicylic acid) සහිත ආලේපන භාවිතා කල හැක.
නමුත් අනවශ්‍ය හා අධික ලෙස කුරුලෑ ඇතිවන ස්වභාවයක් ඔබට ඇත්නම් වෛද්‍යවරයකුගේ සහය පැතීම වඩාත් ප්‍රයෝජනවත්වේවි.
මීට අමතරව, කුරුලෑ සඳහා ප්‍රතිකාර කිරීමේදී, ඉතා උග්‍ර තත්වයක් පෙන්නුම් කරන්නේනම්, ලේසර් කිරණ මගින් ප්‍රතිකාර කිරීමද දැන් සිදුවෙනවා. කුරුලෑ අවම කරගත්තද, කාලයක් යන තුරුම පවතින, එහි අවපැහැ සලකුණු ඉවත් කිරීමටත් ලේසර් කිරණ හා රසායනික ද්‍රව්‍ය මේ වනවිට භාවිතයට ගැනෙනවා.
කුරුලෑ ඇතිවීම, හා ඒ තත්වය අවම කරගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිලිබඳව ඔබට කිසියම් අවබෝධයක් ලැබෙන්නට ඇතැයි මා සිතනවා. තවදුරටත් දැනුවත් වියයුතුයැයි ඔබ සිතන යමක් වේ නම් මා වෙත යොමුකරන්න,

